Tuesday, July 26, 2011

පරත්වාරෝපණය

පරත්වාරෝපණය පිළිබ‍ඳ සංකල්පය ආර්ථිකමය හා සමාජමය ලෙස සමාජ විඥානයේ හැසිරීම විස්තර කරන මාක්ස්වාදයේ වැදගත් සංකල්පයකි. ධනේෂ්වර සමාජය තුළ මිනිසා සමස්ථ සමාජයෙන් කැඩී වෙන්වී හුදකලා වන ආකාරය මාක්ස් සිය ප්‍රාග්ධනය, ජේම්ස් මිල් ගැන සටහන්, ආර්ථික හා දාර්ශනික ලිපි වැනි කෘති මගින් පරත්වාරෝපණය හරහා විස්තර කළේය.

පරත්වාරෝපණය යනු මිනිසාට තමා කරන කාර්යයන්, තමන්ට කිසිදු සම්බන්ධයක් නැති දෙයක් බවට පත් වී තමාට තමා පිටස්තරයෙකු බවට පත්වීමයි. ඒ අනුව මිනිසාට තමා කරන වැඩ කිසිදු තෘප්තියක්, පැවත්මට අවශ්‍ය බවක්, නිර්මාණාත්මක බවක් නොහගවයි. ඒ වෙනුවට වැඩ ඒකාකාරී, දොම්නස ගෙන එන, තමාට කිසිදු සම්බන්ධයක් නැති දෙයක් බවට පත් වේ. කම්කරුවෙකුට සිය වැඩ ගැන තීරණය කිරීමේ අයිතිය අහිමි වේ. තම ශ්‍රමය ගැන තීරණය කර ගැනීමේ හැකියාව අහිමි වේ. වැඩ නිමවීමෙන් පසු විවේකය තුළදී ද ඔහු විවිධාකාර ලෙස අන්‍යයන්ගේ බලපෑමට යටත් වේ. කම්කරුවන්ගේ සමස්ථ ජීවිතයම ඔහුගේ අභිමතයට අනුව නොවන, අනෙක් සගයන්ගෙන් හෝ සමාජයෙන් පමණක් නොව තමාගෙන්ම වෙන් වූ දෙයක් බවට පත්වේ.

මගේ වැඩ මගේ ජීවිතයේ ප්‍රකාශනයක් විය යුතුය.”

එනම්, ජීවිතයේ තෘප්තිය විය යුතුය. නමුත් පෞද්ගලික දේපල වර්ධනය කිරී සඳහා මගේ වැඩ මගේ ජීවිතයෙන් පිටස්තර වී ඇත. මම වැඩ කරන්නේ මගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා ය. මගේ වැඩ මගේ ජීවිතය ගෙන යන මධ්‍ය මිස මගේ ජීවිතය නොවේ.” -(කාල් මාක්ස්-ජේම්ස් මිල් ගැන සටහන්-1844)

ධනේෂ්වර සමාජය තුළ මිනිසා ආකාර ගණනකින් පරත්වාරෝපණයට ලක් වේ.

01. කම්කරුවා නිෂ්පාදන මාධ්‍යවල අයිතියෙන් බැහැර වේ.

02. කම්කරුවා ශ්‍රමයේ ඵලයෙන් බැහැර වේ.

03. කම්කරුවා තම ශ්‍රමයෙන් බැහැර වේ.

04. කම්කරුවා කළමනාකරණයෙන් බැහැර වේ.


01. කම්කරුවා නිෂ්පාදන මාධ්‍යවල අයිතියෙන් බැහැර වේ.

වැඩවසම් ක්‍රමය වැනි පූර්ව ධනේෂ්වර සමාජ ක්‍රම වලදී නිෂ්පාදන මාධ්‍යයන්ගෙන් ශ්‍රමිකයා වෙන් කර නොතිබුණි. වැඩවසම් ක්‍රමය තුළ ප්‍රවේණිදාසයා ඉඩමට අයත් වේ. ඉඩම වගා කිරීමේ අයිතිය ඔහු සතු විය. රදළයන් ඉපයූ දෙයින් කොටසක් පැහැරගත් බව සැබෑය. එහෙත් නිෂ්පාදන මාධ්‍යයන්ගෙන් ශ්‍රමිකයා වෙන් කළේ නැත. නමුත් ධනේෂ්වර සමාජ ක්‍රමය තුළ කර්මාන්ත ශාලා, යන්ත්‍ර උපකරණ ආදී කිසිවක් කම්කරුවාට අයත් නැත. නිෂ්පාදන මාධ්‍යයන්ගේ හිමිකාරිත්වයක් නැත. එබැවින් නිෂ්පාදනය සඳහා උනන්දුවක් ජනිතවීමට අවශ්‍යතාවයක් නැත. කම්කරුවා වැඩ කරන්නේ ජීවත්වීම සඳහා සිය ශ්‍රම ශක්තිය විකිණීමට බල කර ඇති හෙයිනි.


02. කම්කරුවා ශ්‍රමයේ ඵලයෙන් බැහැර වේ.

පූර්ව ධනේෂ්වර සමාජ ක්‍රමය තුළ නිෂ්පාදිතයේ විශාල කොටසක් පීඩක පන්තිය විසින් සූරා කෑව ද ශ්‍රමිකයාට කොටසක් හිමි විය. එහෙත් ධනේෂවර ක්‍රමය තුළ පරිභෝජනය සඳහා නොව හුදෙක් හුවමාරුව සඳහා ම භාණ්ඩ නිෂ්පාදනය කිරීම ඇරඹීමත් සමඟ කම්කරුවාට නිෂ්පාදනයේ ඵල හිමි නොවීය. එබැවින් ඔහු සිය නිෂ්පාදනයේ අවසන් ඵලයට හිමිකමක් නොකියයි. සිය ශ්‍රයේ ඵලවල අයිතියෙන් බැහැර කර ඇති බැවින් කම්කරුවන්ට නිෂ්පාදනය සඳහා උනන්දුවක්, ආශාවක් හෝ තෘප්තියක් ඇති නොවේ. එය ඔවුන්ගේ ජීවිතයෙන් පිටස්තරය. එමෙන්ම ධනේෂ්වර ක්‍රමය තුළ ධනපතියන්ගේ කෘත්‍රීම අවශ්‍යතා සඳහා ම පමණක් නිපදවන, ජනතාවගේ සැබෑ අවශ්‍යතාවලට කිසිසේත් අදාළ නොවන නිෂ්පාදනය නිසා මේ තත්ත්වය වඩාත් පුළුල් වේ. කම්කරුවන් සිය ජීවිතයම ගෙවන්නේ සිය ජීවිතය සමඟ කිසිදු සම්බන්ධයක් නැති, තමා පරිභෝජනය නොකරන දේවල් නිෂ්පාදනය කිරීමට බැවින් ඔහු පරත්වාරෝපණයට ලක් වේ.


03. කම්කරුවා තම ශ්‍රයෙන් බැහැර වේ.

ධනේෂ්වර ක්‍රයේ මූලිකම ලක්ෂණය වනුයේ වැටුප් ශ්‍රමයයි. වැටුප යනු කම්කරුවා සිය ශ්‍රම ශක්තිය විකුණන මිලයි. යම් නිශ්චිත වැටුපකට සිය ශ්‍රම ශක්තිය විකිණීමේ ගිවිසුම අත්සන් කළ පසු, ඒ කාලය තුළ තමා නිපදවන්නේ කුමක්ද? එහි ස්වභාවය කවරේද? එය සිදු කරන්නේ කෙලෙසද? කුමන වේලාවකදීද? කෙතරම් කාලයකදීද? යන්න තීරණය කිරීමේ අයිතිය කම්කරුවාට අහිමි වේ. ඔහු‍ගේ සිරුර තව දුරටත් ඔහුට අයත් නොවන අන්‍යයෙකු විසින් මෙහෙයවන පිටස්තර ප්‍රපංචයක් බවට පත් වේ. ශ්‍රම විභජනය නිසා වැඩවල ඇති නිර්මාණශීලීත්වය හා තෘප්තිදායක ස්වභාවය තව දුරටත් නැති වේ. කම්කරුවා යන්ත්‍රයක උපාංගයක් බවට පත් වේ.


04. කම්කරුවා කළමනාකරණයෙන් බැහැර වේ.

පූර්ව ධනේෂ්වර සමාජ ක්‍රම වලදී යම් සීමාවකට යටත්ව වුවත් වැඩ පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය ශ්‍රමිකයාට හිමි විය. නමුත් කම්කරුවා ධනේෂ්වර ක්‍රමය තුළ නිශ්චිත කාලයක් තුළ නිශ්චිත වැඩ කොටසක් කිරීමට බැඳී සිටී. එය තීරණය කරන්නේ කම්හලෙහි කර්මාන්ත කරුවා හෝ කළමනාකරුවාය. සියලු මානසික ක්‍රියා සහ තීන්දු තීරණ ගැනීම ධනපතියන් හා කළමනාකරුවන් සිදු කරන අතර කායික ශ්‍රමය වැය කිරීම පමණක් කම්කරුවාට පැවරේ. මේ අනුව කම්කරුවා නිෂ්පාදන ක්‍රියාවලියේ කළමනාකරණයෙන් බැහැර කරනු ලබයි.

මේ අනුව කම්කරුවාට තම ශ්‍රමයත්, තම ශරීර අවයවයනුත්, තමාත් තමාගෙන් පිටස්තර බවට පත්වේ. ඔහුගේ අදහස් හා විශේෂිත කුසලතා නොසලකා හැර ඇත. ඔහුට තමා කරන වැඩ වලින් කිසිදු තෘප්තියක් නැත. ඔහු වැඩ කරන්නේ ජීවත් වීම සඳහා අවශ්‍ය නිසා පමණි.

පරත්වාරෝපණය නිසා වැඩකරන ජනතාව මානසික රෝග වලට (ආගම් ඇදහීමද මානසික ලෙඩකි), මත්ද්‍රව්‍ය භාවිතයට, අපරාධවලට හෝ සමාජ විරෝධී ප්‍රචණ්ඩක්‍රියාවලට යොමුවිය හැක. එසේත් නැත්නම් ඔවුන් සිය ජීවිතය වඩා යහපත් කරගැනීම සඳහා වන අරගලයට බද්ධ වේ. ඔවුන්ට අහිමි වීමට කිසිවක් නැත. පරත්වාරෝපණයේ පීඩනයට එකම පිළිතුර සමාජ විප්ලවය පමණි. එබැවින් කම්කරුවන් විප්ලවීය පක්ෂය යටතේ සංවිධානය වී අවසාන ජයග්‍රහණය දක්වාම දැවැන්ත වීරත්වයකින් හා අධිෂඨානයකින් යුතුව අරගල කරයි. ධනේෂ්වර ක්‍රමය තුළ ඇතිවන පරත්වාරෝපණ පීඩාකාරිත්වය සමාජ විරෝධීපැත්තට නොව සමාජ සංවර්ධනයේ දිශාවට කළමනාකරණය කිරීම විප්ලවවාදී ව්‍යාපාරයක ප්‍රම්ඛතම කාර්යය යි.

“කම්කරුවාට ශ්‍රමය බාහිර දෙයක් වෙයි. එනම්, එය ඔහුගේ ආවශ්‍යක පැවැත්මට අයත් නොවේ. එබැවින් ඔහු වැඩ කිරීමේදී තම තත්ත්වය, තම අයිතිය තහවුරු නොකරයි. ඒ වෙනුවට ඒවා ප්‍රතික්ෂේප කරයි. ඔහුට තෘප්තියක් හැගීමක් ඇති නොවෙයි. ඒ වෙනුවට අසහනයෙන් පෙලෙයි. ඔහු තම ශාරීරික හා චෛතිසික ශක්තිය නිදහසේ සංවර්ධනය නොකරයි. ඒ වෙනුවට තම සිරුරට වධදෙයි. සිත විනාශ කරයි. එබැවින් කම්කරුවාට තම නියම ප්‍රකෘති ස්වභාවය දැනෙන්නේ තම රක්ෂාවෙන් පිටතදී පමණි. රක්ෂාව කරන විටදි ඔහුට හැගෙන්නේ තමා තමාට පිටස්තර කෙනෙකු බවය. ඔහුට සැනසුම් සුවයක් ලැබෙන්නේ වැඩ නොකරන විටදී පමණි. වැඩකරන විටදී ඔහුට කිසි සැනසුමක් නොමැත.- (කාල් මාක්ස්- ආර්ථික හා දාර්ශනික ලිපි)